Posted on

මැල්ලුමට කැපූ පොළොස්  airfryer  දාලා මොකක්හරි හදන්න ඕන කියන අදහස ආවේ , අම්මා මේ ටික මගේ අතට දෙන වෙලාවේමයි.

ලුණු කුඩු ටිකක් එක්ක කහ අතගාලා airfryer  දැල මත foil paper  එකක් තියලා කැපූ පොලොස් ටික දාලා
විනාඩි 20 ක් 180 °C උෂ්ණත්වය යටතේ විනාඩි පහෙන් පහ කලතමින් වියළා ගත්තා .

මැල්ලුමට කැපූ පොලොස්

මම මේකට තෙල් එකතු කලේ නැහැ.

ඒක එහෙමම තියලා පසුදා උදේම බී ලූණු ගෙඩියක් කුඩාවට කපාගෙන කරපිංචා කොළ ටිකකුත් එක්කම තවත් විනාඩි 10 ක් වියලෙන්න දාලා ගත්තා .

ඊළඟට පෑන් එකක් ලිපේ තියලා තෙල් මේස හැඳි දෙකක් දාගෙන ඒක රත් වෙනකොට කුරුඳු පොතු , කරපිංචා ,හීනියට කැපූ සුදුලූණු , කෑලි මිරිස් (රස අනුව ) , උම්බලකඩ ටිකක් වැඩිපුර දාගෙන අර පොලොස් බීළූණු කරපිංචා මිශ්‍රණයත් දාලා කලවම් කලා.
සීනි තේ හැන්ඳකුත් උඩින් ඉහලා,
විනාඩි දෙකක් විතර මඳ ගින්නේ තියෙන්න ඇරලා ලිප නිවා දැම්මා.

සැකසූ පසු.

සැකසූ ආහාරය නිවෙන්නට ඇර බෝතල් දෙකක අසුරා ගත්තා .

කෙසෙල්මුව , කොස්, බිම්මල්, බටු මේ ඕනම එකක් ගැඹුරු තෙලේ බැදලා මේ විදියට හදන්න තමයි අපි පුරුදුවෙලා ඉන්නෙම.
එතනදී තෙල් බේරෙන කෑමක් තමයි අපේ පිඟානට වැටෙන්නේ.

මෙතනදී එහෙම නෑ.
සම්පූර්ණ ආහාරය වෙනුවෙන් මම පාවිච්චි කලේ පොල් තෙල් තෙල් මේස හැඳි දෙකක් පමණයි .
ඉතින් තෙල් ප්‍රමාණය 70%-80% අඩුවෙලා , කැලරි අඩු ආහාරයක් රසවත් ලෙස ලබාගන්න පුළුවන් වෙනවා.

සෞඛ්‍යමත් දිවියක් වෙනුවෙන් රසවත් අහාර පිළියෙල කරගන්න එක දැන් කරදරයක් නෙවේ.
වඩා වටින්නේ ඒ සඳහා අලුත් විදියට හිතන එක විතරයි .

ඔයාලත් airfryer  එකෙන් මේ වගේ විවිධ කෑම අත් හදා බලනවා ඇති නේද ?

ඒ ගැන අදහස් කමෙන්ට්ස් වලින් අපිටත් කියන්න.

මෙය dostharapiya.lk සතු පුද්ගලික දේපලකි .උපුටාගැනීම තහනම් .facebook twitter ඔස්සේ share කරන්න .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *