Posted on

කොරෝනා වසංගතය  (COVID-19) පැතිරීමත් එක්ක දෙමාපියන්ට තම දරුවන්ට උපකාර කළ හැකි ආකාර කිහිපයක්

කොරෝනා වසංගතය  (COVID-19) අපි කාටත් , කාංසාව(  Anxiety ), ආතතිය (Stress )  වැනි හැඟීම් ගෙන එයි.
ඒවා සෑම වයස් කාණ්ඩයකම ළමයින්ටත් පොදුයි .
සෑම දරුවෙකුම එවැනි හැඟීම් සමඟ විවිධාකාරයෙන් කටයුතු කළද, ඔබේ දරුවා පාසැල් වසා දැමීම්, අවලංගු කරන ලද ගමන් , උපකාරක පන්ති  හෝ මිතුරන්ගෙන් වෙන්වීම වැනි තත්වයන්ට මුහුණ දෙමින් සිටී නම් ඔවුන්ට වෙන කවරදාටත් වඩා දැන් ආදරය හා සහයෝගය අවශ්‍යයි.

මේ වෙනුවෙන් දෙමාපියන් විදියට අපිට කරන්න පුළුවන් දේවල් කීපයක් ගැන බලමු.

1. සන්සුන්ව හා ක්‍රියාශීලීව සිටින්න.

“කොරෝනා වයිරස් රෝගය (COVID-19) පිළිබඳව දෙමාපියන් තම දරුවන් සමඟ සන්සුන්, පැහැදිලි  සංවාදයක් පැවැත්විය යුතුය.
කොරෝනා රෝග ලක්ෂණ ගැන දරුවන් දැනුවත් කිරීම හොඳයි .
නමුත් සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව හෝ උණ ,කැස්ස වැනි අවස්ථාවන්ද පෙන්නුම් කල හැකි නිසා අනවශ්‍ය ලෙස බිය වන අන්දමෙන් මේ ගැන කතා කිරීම සුදුසු නැත.

COVID-19 ගැන තරුණ ළමයින්ට තේරුම්ගත හැකි තරම් බියක් හා කනස්සල්ලක් ඇති බව වැඩිහිටියන්ට තේරුම් ගත හැකිය.
COVID-19 ආසාදනය හේතුවෙන් ඇති වන රෝගී තත්වය සාමාන්‍යයෙන් ළමයින්ට සහ තරුණයින්ට එතරම් දරුණු නොවිය හැකි බව ඔබේ දරුවන්ට සහතික කරන්න.
COVID-19 හි බොහෝ රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර කළ හැකි බව මතක තබා ගැනීම ද වැදගත් ය.

අපට සහ අනෙක් අයට ආරක්ෂිතව සිටීමට සහ අපගේ තත්වයන් වඩා හොඳින් පාලනය කර ගැනීමට අපට කළ හැකි  ඵලදායී දේවල් බොහොමයක් ඇති බව ඔවුන්ට මතක් කර දිය හැකිය:

නිතර දෑත් සෝදන්න,
මුහුණු ස්පර්ශ නොකරන්න .
තැන තැන කෙළ ගසන්න එපා.
සමාජ දුරස්ථභාවයේ යෙදෙන්න.

නිවසටම වී සිටීමේ වැදගත්කම ක්‍රියාවෙන්ම පෙන්වන්න.

2. පුරුදු ඇතිකර ගැනීම. / කාලසටනහනක්

අප සැවොම ඉතා ඉක්මනින් මේ කාලයේ නව ව්‍යුහයන් නිර්මාණය කරගත්තා .දෛනික වැඩ කටයුතු වල බොහෝ වෙනස්කම් කරන්න සිදුවුණා.
දරුවන්ටද කාලසටනහනක් අනුව වැඩ කරන්නට දෙමාපියන්ට උදව්  කරන්න පුළුවන් .
එයට සාමාන්‍යයෙන් ළමයෙකුට දුරකතනය ඔස්සේ මිතුරු මිතුරියන් එක්ක ගුරුවරුන් එක්ක සම්බන්ධ වෙන්න කාලය ලබා දෙන්න පුළුවන් .
අවුරුදු 10-11 වගේ වයසින් ඉහළ දරුවන්ට ඒ අවශ්‍යතාවය සඳහා ඉඩ දෙන එක සුදුසුයි.

තාක්ෂණය භාවිතා නොකර, ගහ කොළ එක්ක හෝ පරිසරයේ වෙනත් ඕනෑම ක්‍රියාකාරකමක් සමඟ සම්බන්ධ වීමටත් කාලයක් අනිවාර්යයෙන්ම වෙන් විය යුතුය .
නිවසේ හැකි පරිදි ක්‍රීඩාවන්ට යොමු වීමත් මේ කාලයේ ඉතාම වැදගත් .

කුඩා දරුවන් සම්බන්ධයෙන් ගත් කල,
අම්මා සහ තාත්තා යන දෙදෙනාම හෝ එක් අයෙක් අනිවාර්යයෙන්ම දරුවන් එක්ක රැඳෙනවා නම් බොහෝම හොඳයි .
කුඩාම දරුවන් සෙල්ලමට වැඩි නැඹුරුවක් ඇති නිසා දවස ආරම්භයේදීම පොත් පත් වල වැඩ වල නිරත වෙනවා නම් ගොඩක් හොඳයි .
ඉන්පසුව ඔවුන් සමඟ වත්ත පිටියේ ඇවිදින්න ගහ කොළ එක්ක කාලය ගෙවන්න පුළුවන් නම් වඩාත් හොඳයි .

3. ඔබේ දරුවාට ඔවුන්ගේ හැඟීම් දැනීමට ඉඩ දෙන්න.

පාසැල් වසා දැමීමත් සමඟ පාසල් නාට්‍ය, ප්‍රසංග, ක්‍රීඩා තරඟ සහ ක්‍රියාකාරකම් කොරොන වයිරස් රෝගය (COVID-19) හේතුවෙන් මඟ හැරීම පිළිබඳව ළමයින් දැඩි ලෙස කලකිරීමට පත්වෙලා වෙන්න පුළුවන් .
එසේ ඔවුන්ගේ චිත්තවේග ප්‍රකාශ කිරීමට ඉඩ දෙන ගමන් නිවසේදී ඔවුන්ට  අවශ්‍ය වටපිටාව සකස් කර දෙන්න දෙමාපියන්ට පුළුවන් .
ඔවුන් එක්ක එකතුවෙලා නාට්‍යය රඟ දක්වන්න, නැටුම් ,ගායනා හෝ දරුවන් කැමති ක්‍රියාකාරකම් වෙනුවෙන් වෙලාවක් යොදාගන්න.

4. ඔවුන් අසන දේ ගැන ඔවුන් සමඟ පරීක්ෂා කරන්න.

කොරෝනා වයිරස් රෝගය (COVID-19) පිළිබඳව වැරදි තොරතුරු රාශියක් දිනපතාම සංසරණය වෙනවා.
“ඔබේ තරුණ දරුවා අසන දේ හෝ ඔවුන් සත්‍ය යැයි සිතන දේ සොයා බලන්න.
ඔබේ දරුවාට නිවැරදි කරුණු පැවසීම පමණක් ප්‍රමාණවත් නොවේ, මන්ද ඔවුන් සාවද්‍ය යමක් තෝරාගෙන තිබේ නම්, ඔවුන් සිතන්නේ කුමක්දැයි ඔබ සොයා නොගන්නේ නම් සහ වරදවා වටහාගැනීම් ඇත්නම් , ඔබ ලබා දෙන නව තොරතුරු ඔවුන් සමඟ ඒකාබද්ධ කළ හැකිය.
ඔවුන් සතුව ඇති පැරණි තොරතුරු,
ඔබේ දරුවා දැනටමත් දන්නා දේ සොයාගෙන ඔවුන්ව නිවැරදි මාර්ගයට ගෙන ඒම සඳහා එතැන් සිට ආරම්භ කරන්න.

ඔබට පිළිතුරු දිය නොහැකි ප්‍රශ්න ඔවුන් සතුව තිබේ නම්, අනුමාන කිරීම වෙනුවට, පිළිතුරු එකට ගවේෂණය කිරීමේ අවස්ථාවක් ලෙස එය භාවිතා කරන්න.
තොරතුරු මූලාශ්‍ර සඳහා යුනිසෙෆ්( unicef) ලෝක සෞඛ්‍ය සංවිධානය WHO , සහ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යාංශය ( HPB ) වැනි විශ්වාසදායක සංවිධානවල වෙබ් අඩවි භාවිතා කරන්න  .

5. දරුවන් සුරක්ෂිත කරන්න

කොරෝනා වයිරස් ව්‍යාප්ති සමයේ (COVID-19)  බොහෝ දරුවන් නිවසේදී ම  හිරිහැර සහ අපයෝජනයන්ට මුහුණ දීමට ඇති ඉඩකඩ වැඩියි .
නිවසේ සිටින වැඩිමහල් පුද්ගලයින්ගේ විවිධාකාර බලපෑම් වගේම ඔවුන්ගේ මානසික ආතතිය එක්ක කුඩා දරුවන් හිංසනයට ලක් වීමට ඇති ඉඩ ඇහිරීම දෙමාපියන්ගේ වගකීමක් වගේම මේ ගැන හොඳ අවධානයෙන් දෙමාපියන් ඉන්නා බව දරුවන්ට හැඟවීමද ඉතාම වැදගත් .

6. ඔබේ බිය දරුවන් එක්ක බෙදා නොගන්න.

ඇත්තෙන්ම දෙමව්පියන් ද මේ වෙලාවේ ඉන්නේ  කනස්සල්ලට පත්වෙලා.
එය කොරෝනා ආසාධිතයෙකු පවුලේ සිටින නිසා වෙන්න ඕන නෑ.
රැකියාව අහිමි වීම, ආර්ථිකය කඩා වැටීම හෝ සුපුරුදු ජීවන රටාවෙන් මිඳීමට සිදුවීම වගේ කාරණා මීට හේතු වෙන්න පුළුවන් .
මේ වගේ වෙලාවට දරුවන් අපේ චිත්තවේග හඳුනාගෙන ඒ ගැන විමසන්න හෝ ඒවාට ප්‍රතිචාර දක්වන්න හෝ ඉඩ තියෙනවා .
ඉතින් දෙමාපියන්ගේ කාංසාව පාලනය කරගැනීමට සුදුසු මඟක් සොයාගැනීමත්,
දරුවන් එක්ක තමන්ගේ දුක හෝ බය තුනී කරගැනීමට උත්සහ නොගන්නා ලෙසත් දෙමාපියන් සිහි තබා ගන්නවා නම් වඩාත්ම හොඳයි.

යුනිසෙෆ් සංවිධානයේ තොරතුරු ඇසුරින් ලියන ලද ලිපියකි.

මෙය dostharapiya.lk සතු පුද්ගලික දේපලකි. උපුටාගැනීම තහනම්.
Facebook ,twitter ඔස්සේ share කරන්න පුළුවන් .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *