Posted on

ගර්භණී සමයේ ගතයුතු බෙහෙත්________

රොනිති සර්ධාතිලක ඖෂධවේදී

මෙම ලිපි සැකසෙන්නේ ලංකාවේ ගර්භණී මවුවරුන් සඳහා සාමාන්‍යයෙන්  නිර්දේශ කරන ඖෂධ සම්බන්ධයෙන් පමණක් බව කරුණාවෙන් සලකන්න.

විශේෂ රෝග තත්ව වලදීත් ,
වෙනත් හඳුනාගත් අවස්ථාවලදීත්,
වෙනත් රටවල් වලත් මීට වඩා වෙනස්කම් ඇත.

සාමාන්‍යයෙන් ලංකාවේ ගැබිණි මව්වරුන් හට ගර්භණී කාලයේ මුඛයෙන්  [ oral ] ගත යුතු බෙහෙත් වර්ග 4 කි.

ඒවා නම් ,

#ෆෝලික් ඇසිඩ්= විටමින් B 9
# යකඩ පෙති/ කරල්( iron)
#විටමින් C
#කැල්සියම්

මේවායින් විටමින් වර්ග වන්නේ ෆෝලික් ඇසිඩ් සහ විටමින්  C

කැල්සියම් සහ යකඩ වලින් අවශ්‍ය අයණ ලබාදීමයි සිදුවන්නේ.
_____________________________________

#ෆෝලික්_ඇසිඩ් folic acid

-මවගේ රක්තහීනතාවය වැලැක්වීමට
-උපදින දරුවාගේ Neural Tube Defects වැලැක්වීමට

_ගර්භණී සමය පුරාම ගතයුතු ඖෂධයකි.
_ දරු පිළිසිඳගැනීමක් සැලසුම් කරන්නට හැකි මුත් එය 100% ක් නිවැරදි නොවෙන්න පුළුවන් .
විවාහයට පෙර සිටම වුවත් ෆෝලික් ඇසිඩ් පෙත්ත දිනකට එක බැගින් ගැනීම සුදුසුය.

_ එසේ නොගත්තා වුණත් ගැබිණි යැයි දැන්ගත්දා සිටම ගැනීම සුදුසුයි.

_ ඔබ , ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනිය හමුවී කාඩ් පතක් ලියාපදිංචි කරගන්නා විට ඔබ ෆෝලික් ඇසිඩ් නොගන්නේ නම්,
එදින ,ඇයගෙන් ඔබට ෆෝලික් ඇසිඩ් පෙති ලබාගත හැක.
_ දරු උපතෙන් පසු මාස 6 ක් යනතුරු ගැනීම වඩාත් සුදුසුය.
_____________________________________

යකඩ/ Iron ( ferrous sulphate )

රක්තහීනතාවය වැලැක්වීමට

ගර්භණී සමයේ පළමු සති දොළහෙන් පසු යකඩ පෙති ගත යුතුය.
මේ වනවිට රුධිරයේ හිමෝග්ලොබින්  ප්‍රමාණය පරීක්ෂා කර ඇත්නම් එය ඖෂධ මාත්‍රාව නිර්ණය කිරීමට පහසුවක් වේ.
එය වෛද්‍යවරයා නිර්දේශ කරන පරිදි ලබාගන්න.

දරු උපතෙන් පසු මාස 6 ක් යනතුරු හෝ වෛද්‍යවරයා නිර්දේශ කරන කාලය ලබා ගන්න.

_____________________________________

විටමින් C

යකඩ වල අවශෝෂණය සඳහා විටමින් C ලබාදෙයි.
යකඩ පෙති බීමෙන් පසු විටමින් C පෙත්ත බීම සුදුසුය .
එයත් 12 වෙනි සතිය සම්පූර්ණ කිරීමෙන් පසුව සිට දරුවාට මාස 6 පිරෙන තුරු හෝ යකඩ පෙති ගන්නා තුරු ලබාගන්න.

_____________________________________

කැල්සියම් [ calcium lactate ]

ප්‍රධාන වශයෙන්ම අස්ථි වල දුර්වලතා මඟහැරීමටත් කැල්සියම් ඌණතාවය වැලැක්වීමටත් ලබාදෙයි.

ගර්භණී වී සති 13 සිට ගර්භණී කාලය පුරාම සහ කිරිදෙන මුල් මාස 6 පුරාත් ලබාගත යුතුය .
____________________________________

#විශේෂයෙන්ම_මතක_තබාගත_යුතු_කරුණු

රජයේ සායන වලින් ලබාදෙන මෙම බෙහෙත් වර්ග හතර වෙනමම පෙති ලෙසයි ලැබෙන්නේ .

මේවා බොන වෙලාව මඟහැරීම හෝ වරද්දා ගන්න එපා.

කැල්සියම් පෙති සහ ෆෝලික් පෙති උදේට බොන්න.

යකඩ සමඟ විටමින් C රාත්‍රියට බොන්න.

කැල්සියම් සමඟ යකඩ පෙති බීවොතින් #යකඩ වල නිසි අවශෝෂණයක් සිදුවන්නේ නැහැ .
ඒ වාගේම යකඩ හොඳින් අවශෝෂණය වීමට රාත්‍රී  කෑමට ‍ පැයකට පෙර හෝ කෑමෙන් පැය දෙකකට පසු පානය කිරීම වඩාත් හොඳයි .
එයින් අදහස් කරන්නේ හිස් බඩට පානය කිරීම හොඳින් යකඩ අවශෝෂණයට උපකාරී වන බවයි.

කැල්සියම් පෙති සහ ෆෝලික් ඇසිඩ් පෙති උදේ කෑමට පසු බොන්න.

මේ පැහැදිලි කර ඇත්තේ, සාමාන්‍යයෙන් රජයේ සායන වලින් දෙන බෙහෙත් වර්ග හතර බොන ආකාරයයි
Combined tablets ගන්නා ආකාරය වෙනස් විය හැක. ඒවා ඔබේ වෛද්‍යවරයා නිර්දේශ කල ආකාරයට පාවිච්චි කරන්න .

මූලාශ්‍රය National Strategy for Prevention and
Control of Micronutrient Deficiencies in Sri Lanka(2017-2022)
Nutrition Coordination Division
Ministry of Health, Nutrition and Indigenous Medicine

———————————————————————

මෙය dostharapiya.lk සතු පුද්ගලික දේපලකි. උපුටාගැනීම තහනම් .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *