ලෙඩ වලට බෙහෙත් බොනවා වගේම බෙහෙත් නිසි පරිදි ගබඩා කරනවාද යන්න සැලකිලිමත් වෙන්න ඕනේ ප්‍රධාන කරුණක්.
එහෙම නැති වුණොත් ලොකු මුදලක් වියදම් කරලා …..
එහෙමත් නැත්තම් රෝහල් වල දිගු පෝලිම් වල පැය ගණන් හරි වරු ගණන් හරි ඉදලා….
මාසෙකටම බොන්න ගෙදර ගෙනාව බෙහෙත් ටිකෙන් නිවැරදි ප්‍රතිකාරාත්මක ගුණයක්
(therapeutic effect) ලබාගන්න බැහැ.
කුඩා දරුවන්ගේ බෙහෙත් විතරක් නිවැරදිව ගබඩා කරලා මදි.
කාගේත් බෙහෙත් නිසි පරිදි ගබඩා කරන්න ඕනේ…
කුඩා දරුවන්ට ගතනොහැකි සේ බෙහෙත් ගබඩා කරන්නටත් අනිවාර්‍යෙන්ම වගබලා ගන්න ඕන.
ඒ වාගේම කූඹීන් කැරපොත්තන් වැනි කෘමීන්ගෙන් හානිනොවන ලෙසත් බෙහෙත් ගබඩා කරන්න ඕනේ…
සාමාන්‍යයෙන් ගොඩක් බෙහෙත් වර්ග කාමර උෂ්ණත්වය යටතේ ගබඩා කරන්න පුළුවන්.
එසේ ගබඩා කල නොහැකි බෙහෙත් වර්ග
( විශේෂ තත්ව යටතේ ගබඩා කල යුතු බෙහෙත්[ශීතකරණයේ / අඳුරු පැහැති බෝතල් වල.. ආදී…] )
පිළිබඳව සාමාන්‍යයෙන් ඖෂධවේදීන් බෙහෙත් නිකුත් කරන විට ඔබට ඒ ගැන පැහැදිලිව සඳහන් කරනු ඇත.
බාහිර ෆාමසි වලින් බෙහෙත් මිලදී ගන්නා විට බොහෝවිට ඔබට බෙහෙත් අසුරනය තුල ඇති රෝගීන් සඳහා වන තොරතුරු පත්‍රිකාව ( patient information leaflet) මඟින් බොහෝ කරුණු දැනගැනීමට හැකිවේ…
එසේ සඳහන් නොකල අවස්ථාවක යම් බෙහෙතක් ලබා ගැනීමේදී බෙහෙත ගබඩා කිරීම සම්බන්ධයෙන් ,ඔබට ඇති ඕනෑම ගැටළුවක් ඖෂධවේදීන්ගෙන් අසා දැනගැනීමට ඔබට හැකියි.
දිගුකලක් තිස්සේ රෝහල් වල සායන මඟින් හෝ පෞද්ගලික අංශයෙන් හෝ බෙහෙත් ගන්නා අය මේවා ගැන බොහෝදුරට දැනුවත් නමුත් කිහිපදෙනෙක් එකම වරද නැවත, නැවත කරන බව සීමාවාසික ඖෂධවේදියෙකු ලෙස පුහුණු වූ සමයේත් .., පසුව සායන ඖෂධාගාරයේ සේවයේ යෙදුණු සමයේත් මා දැක තිබේ.
සාමාන්‍යයෙන් බොහෝ දෙනා භාවිතා කරන ඒවාගේම පොදුවේ දැනගත යුතු බෙහෙත් සම්බන්ධයෙන් රෝගීන් පිලිපැදිය යුතු කරුණු වෙන වෙනම කතාකිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වෙමි.
ගැටළු ඇත්නම් විමසන්න.